“යකඩ කුලුනට බර දීගෙන අන්දිරිස් ඇසිපිය නොහෙලා බලා සිටියේ මේ අසාමාන්‍ය සත්ත්වයා දිහාය. කට්ට කළු වුණත් උගේ තිබුණ අමුතු උදාරම් ගතිය ඔහුගේ සිත් ගත්තේය. මේ දැන් හරිම අහිංසක විදිහට නිසොල්මන්ව සිටියාට තව මිනිත්තු කිහිපයකින් ඌට පණ එන බව ඔහු දනී. එවිට මේ අවට සිටින හැම මිනිස් ප්‍රාණියකුගේම ඇස් ගෙඩි එළියට ඇවිත් බය බිරාන්තව කටවල් ඇරෙනවා සිකුරුය.
මීට තුන් පෝයකට විතර ඉස්සර දවසක, මේ අසාමාන්‍ය සත්ත්වයා හා හා පුරා දුටු දවස ඔහුට මතකය. තමා උපන් දවස මහ අමාරුවක් නැතිව තමන්ගේ මතකයේ තියාගන්ඩ අන්දිරිස් ගත් මහන්සිය කිසි කලෙක හරි ගියේ නැතත් මේ අසාමාන්‍ය සත්ත්වයා තම ඇහැට මුලින්ම මුලිච්චි වුණු දවස යකඩ බරු දෙකක් වගේ ඔහුගේ පපුවේ කොනක හරි බරට ගැඹුරට තැන්පත්ව තිබුණේය.”