මහ සෙනඟ අර විදිහට සිනාසුනේත්, කල කොලොප්පම් කළේත්. නින්දා අපහාස කළේත් වෙන කාටවත් නො ව සෙනඟ මැද අමු හෙලුවැල්ලෙන් ලැජ්ජාවෙන් මිරිකි මිරිකී සිටගෙන සිටි ළමයාටය.
මිනිසුන්ගෙන් මා දැනගත් විදිහට මේ ළමයාගේ ඇත්ත ම ඇත්ත නම සාන්තය. උප්පැන්න සහතිකයේ වාසගමත් එක්ක තිබුණු නම සිරියාවන්තගේ සාන්තය.
උප්පැන්න සහතිකයේ මේ වගේ ලස්සණ නමකුත්, වාසගමකුත් තිබුණත්, ඒ ළමයාට, ළමයාගේ අම්මා හැර ලෝකේ රටේ වෙන කිසිම කෙනෙක් ඒ නම කිවුවේ නැත.
කවුරු කවුරුත් ඒ ළමයාට කිවුවේ දගදාස කියාය.
ගමේ රටේ ගැහැනුන් හා මිනිසුන් විතරක් නො ව පොලිසියේ පැමිණිලි පොතෙත් මේ ළමයාගේ නම ලියවිලා තිබුණේ ඒ විදියට ය. දඟදාස කියාය.