ඔවුහු සියලු දෙනාම බලා සිටිය දී මෙන් මෝරා වැඩෙති. තව වසර කිහිපයකින් තරුණ වියට එළඹෙනු ඇත. තරුණ පිරිමි දරුවන් ඔවුන්ගේ රැකියා හා පෙම්වතියන් සොයා යනු ඇත. තරුණ ගැහැනු දරුවන් මනාලියන් බවට පත් ව සුව සෙවණට “ආයුබෝවන්” කියනු ඇත…. එහෙත්, එතෙක් ඔවුන් අයිති තමාට සහ ගිල්බර්ට්ට ය.
කාමරයෙන් පිට වූ ඈන් සාලය හරහා කවුළුව වෙතට ගියා ය. සැකය, නුරුස්නා ස්වභාවය හා ඊර්ෂ්යා සහගත බව දැන් ඇය කෙරෙන් සම්පූර්ණයෙන් ම පහ ව ඇත.
“බ්ලයිත්” කියන්නේ “සතුටින් විනෝදයෙන්” කියන එකයි. ඔව් දැන් මම නියම බ්ලයිත්. ඈන් හඬ නගා සිනාසුණා ය.









